තමන්ගේ ලෙයින් උපන් තමගේ දරුවන් මේ ලොව සුවෙන් සිටිනවා කියන්න වත් ඒ පියා දැනගෙන හිටියේ නැහැලු..

ඒත් ඉතින් කොහොම හරි මේ අලුත උපන් මල් කැකුළුවලට පිය සෙනෙහස අහිමි වූ පුවත ගැන බොහෝ දෙනෙක් කතා කළත්, එහි සැඟවිලා තිබුණේ වෙනත් කතාවක්... 

නීත්‍යනුකූල ක්‍රමවේදයෙන් තොරව කාන්තාවන් දෙදෙනකු විසින් ඔවුන්ගේ සන්තකයේ තබා ගෙන සිටි දින අටක් වයසැති නිවුන් පිරිමි දරුවන් දෙදෙනාගේ පියා තමන් බවත් දරුවන්ගේ පීතෘත්වය පිළිගන්නා බවත් වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉකුත් 08 දා පෙනී සිටි තරුණයෙක් ප්‍රකාශ කර තිබුණා..

අධිකරණයේ අවසර පතමින් එම තරුණයා ඉතා සංවේදී ලෙස ප්‍රකාශ කළේ දරුවන් අන්සතු කර ඇති බව තමා දැන ගත්තේ මාධ්‍ය මඟින් බවයි..

තමාගේ පවුලේ සහෝදර සහෝදරියන් දරුවන් හදාවඩා ගැනීමට කැමැත්ත පළකර ඇති අතර ඔවුන්ගේ උපකාර මත දරු දෙදෙනා හදාවඩා ගැනීමට හැකි බැවින් තම පුතුන් දෙදෙනා තමාට ලබාදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියා..

ඔබ මෙම කාන්තාවගේ විවාහක පුරුෂයාදැයි මහේස්ත්‍රාත් ධම්මික උඩුවෙ විධාන මහතා එම තරුණයාගෙන් විමසූ අතර තමන් අවිවාහක යැයි තරුණයා පිළිතුරු දීමෙන් පසුව දරුවන්ට උප්පැන්නය දීමට මවුපියන් විවාහ වියයුතු බව නීතියේ තීරණය බැවින් දරුවන්ගේ අයිතිය නීත්‍යනුකූල නොවන පියකුට දරුවන් භාර දිය නොහැකි බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා..

මෙම දරුවන්ගේ මව දරුවන් දෙදෙනා බාර ගැනීමට නොහැකි බවත්, මවුකිරි එරෙන්නේ නැති බැවින් තමාට දරුවන් දෙදෙනෙකු පෝෂණය කළ නොහැකි බවත් ප්‍රකාශ කර ඇති බැවින් දරුවන් දෙදෙනා මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා සංවර්ධන ආයතනයට භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා..

එතෙක් රාගම රෝහලේ 10 වන වාට්ටුවේ නේවාසිකව සිටි මව සහ දරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මැද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, දරුවන් දෙදෙනා පරිවාස නිලධාරීන් විසින් ප්‍රේම් ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා..

පියා බව පැවසූ තරුණයා දරුවන් තුරුළට ගෙන පසුව බන්ධනාගාර නිලධාරිනියට භාර දුන් අතර, මාධ්‍යයට තම අනන්‍යතාවය හෙළි කිරීමෙන් වැළකී සිටියා..

දරුවන් තමන් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කාන්තාවන් දෙදෙනා සහ දරුවන්ගේ නීත්‍යනුකූල මව රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප මත මුදා හරින ලෙස වැලිසර මහේස්ත්‍රාත් ධම්මික උඩුවෙ විධාන මහතා නියෝග කළා..

රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පෙරදින රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දරුවන් ලබා ගැනීමට ඉදිරිපත් වූ කාන්තාවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් ක‍ර තිබුණා..

විත්තිකාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශ්‍යාමලී පෙරේරා මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් සැකකාර කාන්තාවන් දෙදෙනාටම දරුවන් නැති බවත් ඔවුන්ට දරුවන් බිහිකිරීමට නොහැකි බැවින් මෙලෙස දරුවන් ලබා ගැනීමට ක්‍රියාකර ඇති බවත් මෙම කාර්යයේදී කිසිදු අන්දමක මුදල් ගනුදෙනුවක් සිදුවී නැති අතර, දරුවන්ට අවශ්‍ය කළමනා ගැනීමට උපකාර කර ඇති බවත් පැහැදිලි කළා..

මෙම කාන්තාව ගර්භිණී සමයේ පටන් පසුගිය ඔක්තෝබර් මාසයේ සිට දෙවන සැකකාරියගේ නි‍ෙවසේ නතර කරවා ගෙන උදවු උපකාර කරමින් සායනයට පවා රැගෙන ගොස් කොළඹ කාසල් රෝහලට ඇතුළත් කර ඇති බවද නොවැම්බර් මස 29 වනදා නිවුන් පුතුන් දෙදෙනෙකු බිහි කළ බවද දරුවන් නැති බැවින් දරුකමට හදා ගැනීමට මිස මිනිස් වෙ‍ෙළඳාමක් හෝ අයුතු ලාභ උපයන ගනුදෙනුවක් මෙම සැකකාරියන් විසින් කිසිදු අයුරකින් සිදුකර නැති බවද අධිකරණය හමුවේ පැහැදිලි කළා..

දරුවන් හදා ගැනීමට ඉදිරිපත් වූ කාන්තාවන් ඇමතූ මහේස්ත්‍රාත්වරයා දරුවකු හදා ගැනීමට අවශ්‍ය නම් රටේ පවතින සිවිල් නීතියට අනුගත වෙමින් නීත්‍යනුකූලව එම ක්‍රියාව සිදු කරන ලෙස උපදෙස් දෙමින් මෙම නඩුව ලබන ජනවාරි මස 12 වනදාට කල් තැබුණා..