විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස අද (10) පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීම සඳහා අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.


ඒ අනුව, පෙරවරු 09.30 සිට පස්වරු 4.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.


අද දිනයේ විවාදයට ගැනීමට නියමිත බදු සංශෝධන පනත් කෙටුම්පතට අනුව දැනට පවතින සියයට 15ක වැට් බද්ද සියයට 18 දක්වා ඉහළ යනු ඇත.


ඊට අමතරව මෙතෙක් වැට් බද්ද අයත් නොවූ ක්ෂේත්‍ර රැසකට එම නව සංශෝධනය මගින් වැට් බද්ද අදාළ කර තිබේ.