අනුරාධපුර ඓතිඑහාසික අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට සිවුරක් පැළැඳවීමේ සිදුවීම හේතුවෙන් අවුකන බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරාවිද්‍යා සාධකවලට කිසිදු භෞතික හානියක් සිදු වී නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් (වැඩබලන) K.A.D.Rනිශාන්ති ජයසිංහ විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.



කලාප භාර පුරාවිද්‍යා නිළධාරීන් විසින් ස්ථානීය පරීක්ෂාව සිදුකර අතර එම වාර්තාවට අනුව මේ බව සනාථ වී ඇති බව ඇය එම නිවේදනයෙන් දැනුම් දී ඇත.



මේ සම්බන්ධයෙන් අවුකන රාජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගෙන් ලබාගත් ප්‍රකාශ අනුව උන්වහන්සේ පවසා ඇත්තේ "විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන කඨින පූජෝත්සවය වෙනුවෙන් පිළිම වහන්සේට පැය කිහිපයකට සිවුරක් අන්දවා පූජා පැවැත්වීමට තමන් වහන්සේ කටයුතු කළේය.." යනුවෙනි.



"තමන් වහස්සේගේ අනුදැනුම මත සිදු වූ මෙම පූජාව කිසිදු ආකාරයකින් බුදු පිළිමයට හෝ අනෙක් පුරාවිද්‍යා ස්මාරකවලට හානියක් කිරීමේ අරමුණකින් සිදු නොකළ බවත්..." උන්වහන්සේ පවසා ඇත .



එමෙන්ම උන්වහස්සේ පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් කල්වේලා ඇතිව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට නොහැකි වූ බවත් මෙය අනවබෝධයෙන් සිදු වූ කටයුත්තක් බවත් ය.


ඒ අනුව, මින් ඉදිරියට මෙවැනි ක්‍රියාවක් සිදු කරන්නේ නම් අනිවාර්යයෙන්ම පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්ගේ පූර්ව, ලිඛිත අවසරයක් ලබා ගත යුතු බවත් එසේ නොවුනහොත් නීති මගින් කටයුතු කරන බවටත් උන් වහන්සේට දන්වා ඇත.


කෙසේ වෙතත් මේ වන විටත් එම සිදුවීම සම්බන්ධයෙන් ගල්නෑව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු කර තිබෙන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.