නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය ඇතුළු තැපැල් කාර්යාල ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පෑම ඇතුළු කරුණු කීපයක් මුල් කරගනිමින් දිවයින පුරා තැපැල් සේවකයන් පෙරේදා (10 වැනිදා) පස්වරුවේ සිට අරඹා තිබෙන අඛණ්ඩ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දෙස් විදෙස් ලිපි ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇතැයි තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ කියා සිටිති.,


මෙම තැපැල් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් විදේශීය තැපැල් කටයුතුද සම්පූර්ණයෙන්ම නතරවී ඇති අතර, දෙස් විදෙස් තැපැල් පාර්සල් 25,000 කට අධික ප්‍රමාණයක් තැපැල් කාර්යාලවල ගොඩගැසී අතැයිද තැපැල් සේවකයෝ පවසති.



පෞරාණික සහ ආර්ථික වටිනාකමකින් යුත් නුවරඑළිය සහ මහනුවර ප්‍රධාන තැපැල් කාර්යාල ගොඩනැගිලි සහ විදේශීය සමාගම්වලට විකිණීමට රජය කටයුතු කිරීම සහ එම කටයුතු සිදු කිරීම සඳහා අදාළ ගොඩනැගිලි තැපැල් දෙපාර්තමේන්තුවෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයට පවරා ගැනීමට විරෝධයපෑම, තැපැල් කාර්යාලවල පවතින බරපතළ සේවක හිඟය, තැපැල් සේවකයන්ටද රුපියල් 25,000 ක වැටුප් වැඩිවීමක් ඇතුළු ඉල්ලීම් මුල් කරගනිමින් දිවයින පුරා තැපැල් සේවකයන් පෙරේදා (10 වැනිදා) පස්වරු 4 සිට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ පැවසුවේය.



මෙම වැඩ වර්ජනය අද (12 වැනිදා) මධ්‍යම රාත්‍රි 12 දක්වා ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.


තැපැල් සේවක වර්ජනය හේතුවෙන් නුවරඑළිය ප්‍රධාන තැපැල් කාර්යාලය අවට පරිශ්‍රයේ කළු කොඩි ඔසවා තිබෙන අයුරු දක්නට ලැබිණි.



ඉකුත් 2016 වසරින් පසුව තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් ස්ථානාධිපතිවරුන් සේම තැපැල් කරුවන්ද බඳවාගෙන නොතිබීම නිසා තැපෑලේ කටයුතු කරගෙන යාමේදී බරපතළ අර්බුදකාරී තත්වයක් උද්ගතව ඇතැයිද ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ කීවේය. තැපැල් ස්ථානාධිපතිවරු ඇතුළු අනෙකුත් පුරප්පාඩු 4000 ත් 5000 ත් අතර ප්‍රමාණයක් පවතින බවද ඔහු පැවසීය.



සේවක හිඟය සම්බන්ධයෙන් තැපැල්පතිවරයාට සහ ජනමාධ්‍ය ඇමැතිවරයාට දැනුම් දුන්නද නිසි විසඳුමක් නොලැබීම නිසා ඉකුත් ඔක්තෝබර් මස 25 සහ 26 යන දෙදින සංකේත වැඩ වර්ජනයක තැපැල් සේවකයන් නිරතවූ බවද, එම අවස්ථාවේ ඇමැතිවරයා කෙටි කාලීන ගැටලු විසඳීමට පොරොන්දු වූවත්, ඒවා තවමත් විසඳී නැතැයිද තැපැල් වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.



මෙරට රාජ්‍ය බැංකුවක රාජකාරී කටයුතු වලින් සියයට 50 කට වැඩි කොටසක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන බවත්, තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයන්ට අදාළ රාජ්‍ය බැංකුව විසින් සහන පොලියට ණය ලබා දුන්නද, තැපැල් සේවකයන්ගෙන් බැංකුවට සිදුවන සේවය නොසලකා පොලී අනුපාතය ඉහළ දමා ඇති බවත් තැපැල් සේවකයෝ කියා සිටිති. මේ නිසා එම බැංකුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු රාජකාරි වලින් අද (12 වැනිදා) සිට දින නියමයක් නොමැතිව ඉවත් වන බවද සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ කීවේය.



තැපැල් සේවකයන් අරඹා තිබෙන අඛණ්ඩ සංකේත වැඩවර්ජනය සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාරගෙන් අවස්ථා කීපයකදී ඔහුගේ ජංගම දුරකථනයෙන් විමසීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය.