ජපන් ජබර ඇතුළු ආක්‍රමණශීලී ශාක පරිසර පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය ඇතුළු රජයේ අංශ විසින් විවිධ ව්‍යාපෘති යටතේ වසරකට රුපියල් මිලියන 400 ක පමණ මුදලක් වැය කළද ඉන් එම ශාක පාලනයක් සිදුවී නැතැයි අනාවරණය වේ.


මූල්‍ය ප්‍රතිපාදන නොමැතිවීම නිසා මේ වනවිට ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමේ වැඩසටහන් රැසක් අතරමග නැවතී ඇතැයිද පැවසේ.



මෙරට තුළින් ප්‍රමුඛ ආක්‍රමණශීලී ශාක විශේෂ 20 ක් හඳුනාගෙන ඇත.


ශ්‍රී ලංකාවේ ආක්‍රමණශීලී ආගන්තුක ජීව විශේෂ පිළිබඳව පරිසර මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශය විසින් එම අමාත්‍යාංශයේදී ඊයේ (05 වැනිදා) පවත්වන ලද වැඩසටහනකදී මෙම තොරතුරු අනාවරණය විය.



මෙහිදී මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර කියා සිටියේ ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඇතුළු අංශ විසින් වාර්ෂිකව විශාල වියදමක් දරන බවත්, යාපනය විශ්වවිද්‍යාලය විසින් කරන ලද පර්‌යේෂණයකට අනුව ජපන් ජබර යොදාගෙන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක්ද සාර්ථකව සිදු කෙරුණු බවය.



පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව අංශයේ අධ්‍යක්ෂිකා සුජීවා ප්‍රනාන්දු මෙහිදී කියා සිටියේ දකුණු ආසියාතික කලාපයටම ජපන් ජබර අද වනවිට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවය.



 නමුත්, ඉන්දියාව ඇතුළු රටවල් ජපන් ජබර යොදාගෙන විවිධ නිෂ්පාදන සිදුකරන බවත්, මේස පුටු,සාරි, සත්ත්ව ආහාර, බයෝ ගෑස් ආදිය නිපදවීමට ජපන් ජබර යොදා ගන්නා බවත් ඇය කීවාය.


ඇතැම් රටවල ජපන් ජබර සැලඩ් එකක් ලෙසද භාවිතා කරන නමුත්, ජපන් ජබරවලට අධික ලෙස බැර ලෝහ උරාගැනීමේ හැකියාවක් පවතින බවද ඇය සඳහන් කළාය.