ගව මස් කන්ටේනර් 03ක් පමණ සතියකට උතුරු මැද පළාතෙන් වෙනත් පළාත්වලට යවන බවත්, මේ නිසා උතුරු මැද පළාතේ ගව සම්පත සුරක්ෂිත කොට ආරක්ෂා කරගත යුතු බවත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් සඳහන් කළේය..


ආණ්ඩුකාරවරයා මේ බව පවසා සිටියේ පසුගියදා පළාත් සභා සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.



එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා මෙලෙස ප්‍රකාශ කළේය.



“දියර කිරි බහුලව නිෂ්පාදනය කරන දිස්ත්‍රික්ක අතර අනුරාධපුර දිස්ත්‍රික්කය ප්‍රධාන තැනක් හිමි වෙනවා. ළදරු කිරිපිටි සහ අනෙකුත් කිරිපිටි පිටරටින් ආනයනය කිරීමට විශාල මුදලක් වැය වෙනවා. ගුණාත්මක වශයෙන් දියර කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමෙන් ජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංව‍ෙනවා. 




එයින් රටේ මුදල් ඉතිරි වෙනවා. අපේ ගව සම්පත විනාශවී ගෙන යන බවට පසුගිය දිනවල මාධ්‍යයෙන් විශාල ප්‍රචාරයක්දී තිබුණා. අප සියලු දෙනාම ඉතා සූක්ෂම ලෙස මේ ගව සම්පත ආරක්ෂා කරගත යුතුයි. මේ ගව සම්පත් ආරක්ෂා කරගැනීමට කඩිනම් පියවර ගත යුතුයි. නීති රීති විධිමත් කර පොලිසියෙන් සහාය ගෙන අප මේ සඳහා ඉක්මන් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.




දේශීය කිරි ගොවියා අපි රැක ගත යුතුයි. ඔවුන් ජීවත් වන්නේ ගවයන්ගෙන්. උතුරු මැද පළාතේ ගවයන් 275,000ක් පමණ සිටිනවා. වසරකට ගව පැටව් ලක්ෂයක් පමණ බිහි කළත් ගව සම්පතේ වර්ධනයක් නොපෙනෙන්නේ වසරකට ගවයන් 75,000ක් පමණ ඝාතනය කරන නිසයි. සතියකට ගව මස් කන්ටේනර් 03ක් පමණ උතුරු මැද පළාතෙන් වෙනත් පළාත්වලට නීත්‍යානුකූල නොවන ආකාරයට පිටව යනවා. ගව මස් ප්‍රවාහනයට අවසර ඇත්තේ පළාත් පාලන සීමාව තුළ පමණයි.”




ගව ඝාතකාගාර අනුරාධපුර දිස්ත්‍රික්කයේ 27ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 05ක් වශයෙන් පළාත තුළ 32ක් ඇති බව මෙහිදී අනාවරණය විය.