අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙකු දින විස්සක නිවාඩුවක් මත විදෙස්ගත වී ඇතත් ඔහු මාස තුනක්ම මෙරටට පැමිණ නැතැයි වාර්තා වේ.


පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දකුණු පළාතේ කොට්ඨාසයක සිට අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයට පැමිණ ඇති මෙම නිලධාරියා පසුගිය සැප්තැම්බර් මස 15 වැනිදා දින විස්සක නිවාඩු අනුමත කරගනිමින් විදෙස් රටකට ගොස් ඇත.




මේ දක්වාම යළි මෙරටට පැමිණ නැති පසුබිමක ඔහුට එරෙහිව පෙත්සම් තුනක් ද පොලිස් ප්‍රධානීන් වෙත ලැබී ඇත.

 


ඒ නැගෙනහිර පළාතේ සිට අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට එන මාර්ග බලපත්‍ර නොමැති බස් රථවලින් මුදල් ලබා ගැනීම, මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අධිවේගී පිවිසුම්වල රාජකාරියේ නියුතු නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ලබාදුන් කේඩීඑච් වර්ගයේ වෑන් රථ ධාවනයෙන් ඉවත් කිරීම හා දකුණු පළාතේ කාන්තා පොලිස් නිලධාරිනියක් හා අනියම් ඇසුරක් පැවැත්වීම සම්බන්ධයෙනි.



කෙසේ වෙතත් රාජකාරී නිවාඩු අවසන්ව ඇතත් යළි මෙරටට නොපැමිණීම සම්බන්ධයෙන් කරන ලද අභ්‍යන්තර සොයා බැලීමකදී මෙම උසස් නිලධාරියා සම්බන්ධයෙන් දකුණු පළාතේ විශේෂ විමර්ශන ඒකකයක් කරන ලද පරීක්ෂණයක් ගැන තොරතුරු අනාවරණය වීඇත. 

ඒ මෙම නිලධාරියා දකුණු පළාතේ ප්‍රධාන නගරයක යකඩ ව්‍යාපාරිකයෙකුගෙන් මීට කලකට පෙර රුපියල් ලක්ෂ පහක කප්පමක් ඉල්ලා තිබෙන බවත් ව්‍යාපාරිකයා විසින් ඒ සම්බන්ධව දකුණේ ප්‍රභල දේශපාලකයෙකුට පැමිණිලි කර ඇති බවත්ය.



අදාළ දේශපාලකයා විසින් මෙම උසස් පොලිස් නිලධාරියා ගෙන්වා තරයේ අවවාද කර තිබෙන අතර එයින් වූ ලැජ්ජාව නිසා ඔහු දකුණු පළාතෙන් පිට පළාතකට මාරුවීමක් ලැබ පැමිණ ඇත.




කෙසේ නමුත් අදාළ ව්‍යාපාරිකයා විසින් ඒ කප්පම් ඉල්ලීම සම්බන්ධයෙන් දකුණු පළාතේ විමර්ශන ඒකකයකට කරන ලද පැමිණිල්ලට අනුව උසස් පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවත් ඒ හෙයින් ඔහු මෙරටට පැමිණීම මග හරිමින් සිටින බව දැනගන්නට ලැබෙන බවත් පොලිස් ආරංචිමාර්ග සඳහන් කර සිටියි.