සියලු ක්ෂේත්‍ර නවීකරණය කරමින් රට දියුණුව කරා ගෙන යන නව ආර්ථික වැඩපිළිවෙළ එළැඹෙන ජනවාරි 01 වනදා සිට ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.


පැරණි ක්‍රමවේදය අනුව ඉදිරියට යාමෙන් රටට හෙට දවසක් නොමැති බවත් පසුගිය වසර කිහිපය තුළ ජාතියක් ලෙස මුහුණ දූන් කටුක අත්දැකීම මතු පරපුරට උරුම කළ නොහැකි බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.



එබැවින් නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යනවා හැර වෙනත් විකල්පයක් රටට නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සමඟ සියලුදෙනා එක්විය යුතු බවද සඳහන් කළේය.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සෝලිස් හෝටලයේ අද (06)පැවති රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සියවස් සැමරුමට එක්වෙමිනි.



බංකොලොත්භාවයට පත්ව තිබූ රට  මාස 18ක් වැනි කෙටි කාලයකින් බංකොලොත් භාවයෙන් මුදවා ගැනීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිං මහතා මෙහිදී සඳහන් කළේය.