දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පොදු සමාගමක් බවට පත් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.


ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා කීවේය.



මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බව පෙන්වා දුන් ගුණවර්ධන එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයිද ප්‍රකාශ කළේය.



ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බව කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත.



පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතා මාධ්‍යවලින් විකාශ කිරීම මෙන්ම ඒවා සංවර්ධනය කිරීමෙන් පසු ඒ පහසුකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බවද ඔහු ප්‍රකාශ කළේය.



ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 23 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.