ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව ඊයේ රැස්වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.


එම විධායක කමිටු රැස්වීමේ අරමුණ වූයේ මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා ICCය මගින් පනවා ඇති තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ එම ගැටළුව නිරාකරණය කරගැනීම සඳහා අවශ්‍ය උපායමාර්ගික ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.



එහි දැක්වෙන්නේ එම රැස්වීම ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ බවය.


එසේම එම නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යංශයේ අතපෙවීම ගැන ICCය නිරන්තරයෙන් අවධානයෙන් සිට ඇති බවය.


මෙම තහනම පනවා ඇත්තේ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කිහිප වරක් දැනුම්දීමෙන් අනතුරුව බවද එම නිවේදනයේ දැක්වෙයි.



ICCය නිකුත් කළ තොරතුරු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාව කිහිප විටක් දැනුවත් කළ බවත් එම අනතුරු ඇඟවීම් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි සැළකිල්ලක් නොදැක්වූ බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.


එසේම මෙම තහනම දිගටම පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සඳහා අහිතකර බලපෑමක් ඇතිකළ හැකි බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.


එබැවින් අත්හිටුවා ඇති සාමාජිකත්වය නැවත ලබාගැනීම සඳහා කටයුතු කිරීමට සුදුසු පරිසරය සකසන ලෙසත් දේශපාලන මැදිහත්වීම්වලින් වළකින ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා තිබේ.