නුවරඑළිය නගරයේ සුන්දරත්වයට බාධාවන අයුරින් මහල් පහට වඩා ඉදිකරන ලද ගොඩනැගිලි  පනස් දෙකකට නාගරික සංවර්ධන අධිකාරිය සහ නුවරඑළිය මහ නගර සභාව අනුමැතිය ලබා දී ඇති බව අනාවරණය වේ.



නුවරඑළියේ සුන්දරත්වයට බාධාවන බැවින් නුවරඑළිය නගරයේ මහල් හතරට වඩා ඉහළ ගොඩනැගිලි ඉදිකිරීමට අවසරය ලබා නොදෙන ලෙසත් දැනට ඉදිකර තිබෙන ගොඩනැගිලිවල හැඩය වෙනස් කිරීමට වහා පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් මැයි මාසයේ නුවරඑළියේ කරන ලද සංචාරයකදී නිලධාරින්ට දැනුම් දුන්නේය.



ඒ අනුව ගොඩනැගිලි සම්බන්ධව තීරණ ගැනීම සඳහා කාර්ය සාධන බළකායක්ද පත් කෙරිණි. එම බළකාය විසින් කරන ලද සමීක්ෂණයට අනුව නුවරඑළිය නගරයේ මහල් පහකට වඩා ඉදිකරන ලද ගොඩනැගිලිවලින් විසි හයකට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ද ඉතිරි ගොඩනැගිලි විසිහයට නුවරඑළිය මහ නගර සභාව විසින් ද අනුමැතිය ලබාදී තිබෙන බවය.



මෙම ගොඩනැගිලි අතර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහ රෝහල, පොලිසිය සහ නගරයේ අලුතින් ඉදිකරන ලද තරුපහේ හෝටලයක ගොඩනැගිලි තුනක්ද වේ.


තට්ටු ගොඩනැගිලිවලින් නගරයේ සුන්දරත්වයට සිදුවන හානිය වළක්වා ගැනීම සඳහා ඒවායෙහි පරිසරයට ගැළපෙන අයුරින් වර්ණ ආලේප කර ගොඩනැගිලි තුළ හැඩය වෙනස් කර ගස් සිටුවීමට තීරණය කර තිබේ. ඉවත් කළ යුතු ගොඩනැගිලි සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරිය විසින් දැනුම් දීමට නියමිතය.



නුවරඑළියේ මහල් ගොඩනැගිලි සහ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) නුවරඑළියේදී පැවැත්විණි.