ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව 'ක්‍රික්ඉන්ෆෝ' වෙබ් අඩවිය වාර්තා කරයි.


මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙයි.


එමෙන්ම ඉදිරියේ දී අහමදාබාද්හි පැවැත්වීමට නියමිත අයිසීසී රැස්වීම සඳහා ද ඔහු සහභාගී වීමට නියමිත බව තවදුරටත් වාර්තා වේ.



ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය තවදුරටත් පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකාවේ 2014 – 2015 කාලය තුළ ක්‍රිකට් අතුරු කමිටුවක් ක්‍රියාත්මක වූ අවස්ථාවේ එය ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පිළිගෙන ඇති බවයි.


2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අඛණ්ඩ ව තරග පරාජය වීමත් සමඟ හිටපු ක්‍රිකට් නායක අර්ජුණ රණතුංග ගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රිඩා අමාත්‍ය ‍රොෂාන් රණසිංහ පියවර ගත්තේය.



කෙසේ වෙතත් ඊට එරෙහි ව ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා අභියාචනා අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට පියවර ගැනීමත් සමඟ අතුරු පාලක මණ්ඩලය දින 14කට අත්හිටුවමින් අතුරු තහනමක් අභියාචනා අධිකරණය මඟින් පැනවිණි.



අනතුරු ව මේ පිළිබඳ පාර්ලිමේතුව තුළ දැඩි කතා බහක් මතු වූ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම සම්බන්ධයෙන් වන විවාදයක් සිදු කර ඒකාබද්ධ යොජනාව පාර්ලිමේන්තුවේ දී සම්මත කිරීමට පියවර ගත්තේය.