වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ මේ වසර අවසාන වන තුරුම බිත්තර ආනයනය සිදු කරන බවයි.


තවද මේ වන විට කුකුළු මස් මිල ද අඩු කිරීමට රජයට හැකි වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය. 


වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,



'' සෑම මසකම මෙරටට බිත්තර මිලියන 30ක් පමණ ආනයනය කරනවා. කඩා වැටුණු නිෂ්පාදනය යථා තත්ත්වයට පත්වන තුරු බිත්තර ආනයනයන් සිදු කිරීමට ද අප බලාපොරොත්තු වනවා. ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ම බිත්තර ආනයනය සිදු කරනු ලබනවා. ඒ සමග උත්සව සමයේදී වෙළදපල තුළ බිත්තර හිගයක් ඇති නොවීමට රජය වග බලා ගන්නවා.



පසු ගිය දිනවල වෙළදපොලේ කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1700ක්ව පැවති කුකුළු මස් මිල නිෂ්පාදකයින් සමග සාකච්ඡා කිරීමෙන් පසු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 1150ක මිලකට වෙළඳපලට නිකුත් කිරීමට හැකිවී තිබෙනවා. මේ තත්ත්වය වසර අවසන් වනතුරු පවත්වාගෙන යාමට හැකි බව අපගේ විශ්වාසයයි. එම මිල ගණන් පසුකර යාමට නිෂ්පාදකයින් සූදානම් වුවහොත් කුකුළු මස් ආනයනය කිරීමට ද සූදානම් බව අප ඔවුන්ට දැනුම් දී තිබෙනවා.''