ක්‍රීඩා අමාත්‍ය වැය ශීර්ෂය අයවැය ඡන්ද විමසීමේදී පරාජයට පත් කිරීමට පොදුජන පෙරමුණු මන්ත්‍රිවරුන් පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


මෙම වැය ශීර්ෂය පරාජය කිරීමේ අවශ්‍යතාව වී ඇත්තේ ඇමැති රොෂාන් රණසිංහ ඉවත් කිරීම බවද එම ආරංචි මාර්ග පවසයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අදාළව ඇමැතිවරයා ගෙන යන ක්‍රියාමාර්ග සමස්තයක් ලෙස ආණ්ඩුවම අපහසුතාවට පත් කරවන්නක් හෙයින් එම තත්ත්වය වර්ධනය වීම වළක්වා ගැනීම ඉහත ක්‍රියාමාර්ගයේ තවත් අරමුණකි.


කෙසේ වුවද එම අමාත්‍යාංශය වැය ශීර්ෂය පරාජය කිරීමේ උත්සාහය පරාජය කිරීමට සමගි ජන බලවේගය ද මේ වන විට තීරණය කර තිබෙන බව එම පක්ෂ ආරංචි මාර්ග කියයි. පාර්ලිමේන්තුවේ පසුගිය දිනවල පැවැති විවාදයන්හිදීද සමගි ජන බලවේගය අනුගමනය කළේ ක්‍රීඩා ඇමැතිවරයා ආරක්ෂා කිරීමේ පිළිවෙතකි. එම ඇමැතිවරයාට සමගි ජන බලවේගය විවෘත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ ප්‍රකාශයක්ද කළේය.



මේ අතර පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහට දැඩි ලෙස පක්ෂපාතිව කටයුතු කරන ඇමැතිවරුන් සිවු දෙනකුගේ අමාත්‍යාංශ වැය ශීර්ෂය පරාජය කිරීමට තවත් මන්ත්‍රි පිරිසක් සූදානමින් සිටින බවද ඉහත ආරංචි මාර්ග පැවසීය.