ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් ආරම්භ කළ වර්ජනය අවසන් වී තිබේ.


මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් අද (22) උදෑසන ආරම්භ කළ වර්ජනයක් නිසා අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම් මෙන්ම මුදල් අයකිරීමේ කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය යොදවා තිබිණි.


අධිවේගී මාර්ග පිවිසුම්වල ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍ර සේවකයින් රැගෙන ගොස් තිබූ අතර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා සඳහන් කළේ එම යන්ත්‍රවලට හානියක් සිදුකර ඇත්නම් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලේකම්වරයාට උපදෙස් ලබාදුන් බවයි.


මහාමාර්ග අමාත්‍යාංශයට අයත් මාර්ග සංවර්ධන අධිකාරියේ 11,000ක් පමණ වූ සේවකයින් පිරිසක් මෙම වැඩවර්ජනය සඳහා අසනීප නිවාඩු වාර්තා කර තිබිණි. 


ඊට හේතුව වන්නේ, මාර්ග සංවර්ධන අධිකාරියේ දැනට ආදායම් ලබන එකම ව්‍යාපෘතිය වන අධිවේගි මාර්ග පද්ධතිය මුදල් අමාත්‍යාංශයට අනුබද්ධිත සමාගමකට පැවරීමට සහ හඳුන්වාදීමට නියමිත බඳවාගැනීමේ පටිපාටියට විරෝධය පළ කිරීම මෙන්ම 2023 වසරේ ලබා නොගත් නිවාඩු වෙනුවෙන් හිමිවන දීමනා ලබාදෙන ලෙස කළ ඉල්ලීමයි.