ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ගොඩනැගීමට සහාය අවශ්‍ය ඕනෑ ම අවස්ථාවක එය ලබාදීමට තමන් සූදානම් බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරිහානියට හෝ ක්‍රීඩකයින්ගේ පසුබැස්මට හේතුව කුමක් දැයි තමන්ට ද මෙතෙක් නිසි පරිදි සිතාගත නොහැකි බවයි ඩිල්ෂාන් පෙන්වා දෙයි.



සිය නිල මුහුණුපොත හරහා වීඩියෝ පටයක් සමාජගත කරමින් ඩිල්ෂාන් මෙම අදහස් පළ කර තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීම සඳහා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග තේරීපත් වීමට ද මෙම අවස්ථාවේ දී ටී.එම්. ඩිල්ෂාන් සුබ පැතීම් එක් කර තිබේ.



ඔහු පැවසුවේ අර්ජුන රණතුංග ඉල්ලා සිටියේ විදෙස්ගත ව සිටින හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය රටේ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනැගීමට සහාය දෙන ලෙසටය.



මේ හේතුවෙන් තමන් ද ඕනෑම අවස්ථාවක එම සහාය ලබාදීමට සූදානම් බව ද ඩිල්ෂාන් පවසයි.


එක දිගට තරග පරාජය වීම මේ වනවිට ක්‍රීඩා ලෝලීන්ට සුපුරුදු අත්දැකීමක් ව ඇති බැවින්, දක්ෂ තරුණ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින බැවින්, ඔවුන් හට නිවැරදි මග පෙන්වීමක් ලැබෙන්නේ නම් ඔවුන්ව හරි මාවතට ගෙන ආ හැකි බව තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් පැවසීය.