ගාසා යුද්ධය සමග කලාපයේ ඉන්ධන සැපයීම අර්බුදයක් වුවහොත් ඊට මුහුණ දීම සඳහා ආරක්ෂිතව ඉන්ධන තොග පවත්වා ගෙන යාමේ ගැටලුවක් පැන නැගී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කර ඇත.


ඉන්ධන මිලදීගෙන වැඩිපුර ගබඩා කිරීම සඳහා ප්‍රමාණවත් අරමුදල් හා ඉන්ධන ගබඩා කිරීමට ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම නිසා ර​ටේ ඇත්තේ දින තිහකට ප්‍රමාණවත් ඉන්ධන තොගයක් පමණක් බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ අනාවරණය කර තිබේ.


ආරක්ෂිත ඉන්ධන තොග පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 400ත් 500ත් අතර මුදලක් වැයවෙන බව ගණන් බලා ඇත.



දැනට තෙල් සංස්ථාව දින තිහක ඉන්ධන තොග පවත්වාගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 300ක් වෙන් කර ඇත. ප්‍රමාණවත් අරමුදල් හා ගබඩා නොමැතිකම නිසා ඉදිරි තොග පවත්වාගෙන යාම අසීරු වුවත් ලබන වසරේ ජුනි මාසය වනතුරු ඉන්ධන ඇණවුම් කර ඇතැයි අමාත්‍යාංශ ලේකම්වරයා කෝප් කමිටුවට මෙම සතියේ දැනුම් දී ඇත.


ඊට අමතරව ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ත්‍රිකුණාමලේ තෙල් ටැංකි විසි හතරෙන් දොළහක් වැඩිදියුණු කිරීමට කටයුතු යොදා තිබේ.


#

ඉන්ධන තොග සමාලෝචන කමිටුවේදී අනාවරණය වී ඇත්තේ රටේ දැනට ඩීසල් මෙට්‍රික් ටොන් හැටදහසක් පෙට්‍රල් මෙට්‍රික් ටොන් හතළිස් දහසක් ඔක්ටේන් 95 පෙට්‍රල් ටොන් 3500ක් හා ගුවන් යානා ඉන්ධන මෙට්‍රික් ටොන් විසිදහසක් ඇති බවය.