ආරක්ෂාවට තම නිවසේ ශීතකරණය ඇතුළේ සඟවා තිබූ රන් භාණ්ඩ කිහිපයක් කිසිවෙකු විසින් සොරාගෙන ඇති බවට

මෙගොඩ කොළොන්නාව ප්‍රදේශයේ කාන්තාවක විසින් වැල්ලම්පිටිය පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මේ පිළිබඳව සිදු කරන ලද විමර්ශනයේදී එම රන් භාණ්ඩ උකස් කරන ලද පුද්ගලයෙකු එම නිවෙස ආසන්නයෙන්ම අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.

ඒ අනුව රන් භාණ්ඩ උකස් කරන ලද රිසිට් පතද සොයාගෙන ඇති අතර සැකකරුගෙන් වැඩිදුරටත් සිදු කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ එම භාණ්ඩ සොරාගෙන ඇත්තේ නිවෙස් හිමි කාන්තාවගේ දියණියගේ සැමියා (බෑණා) බවයි.

සිද්ධිය හෙළි වීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශය හැර ගොස් ඇත.

මේ අතර හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 650 ක් තම සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන (වෙනත් පොලිසියකින්) පොලිස් සිර මැදිරියේ රඳවා තබා ඇත. අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ශාමික මහතා කිහිපවරක්ම සිර මැදිරිය අසලින් එහා මෙහා ගමන් කරන විට සිර කූඩුවේ සිටි එම සැකකරු පිටුපසට හැරී මුවාවෙන අයුරු ඒ මහතාට නිරීක්ෂණය වී තිබේ.

පසුව කුඩුව හැර සැකකරුව එළියට ගෙන බලන විට රන් භාණ්ඩ සොරා ගත් සැකකරු බවට හඳුනා ගෙන තිබේ.

සැකකරු ඊයේ (01) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ නිර්දේශය මත මාස හයක කාලයක් පුනරුත්ථාපනය කිරීමට නියමිතය.