ලබන වසර (2024) සඳහා ඉදිරිපත් කරන ලද අයවැයට මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ තුනකට අදාළව රුපියල් බිලියන 31ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළ බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.


ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණයට අදාළව මෙම ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබේ.


පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් 2023 අයවැය සඳහා රුපියල් බිලියන 10ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබිණි.



ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමට මාස දෙකක් සහ මාසයක් අතර කාලය තුළදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවත් ඒ අනුව ජනාධිපතිවරණය ලබන වසරේ (2024) සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස අතර වූ කාලයේදී පැවැත්වීමට නියමිත බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කීවේය.



ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු දෙක හමාරක් ඉක්ම වූ පසු ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලතල තිබෙන බවත් ඒ අනුව ලබන වසරේ ඕනෑම කාලයක ජාතික මැතිවරණ පැවැත්වීමේ හැකියාව පවතින බවද ඔහු සඳහන් කළේය.



මැතිවරණය ප්‍රකාශයට පත් කරන විට සහතික කරන ලද ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ලබන වසරේ ජාතික මැතිවරණ පැවැත්වෙන බවද ඔහු පැවසුවේය. මේ වසරේ ඡන්ද හිමි නාමලේඛනයට අනුව සමස්ත ඡන්දහිමියන් සංඛ්‍යාව 16855000ක් පමණ වේ. ඉකුත් වසරේ (2022) ඡන්ද හිමියන් සංඛ්‍යාවට වඩා මේ වසරේ ඡන්ද හිමියන් සංඛ්‍යාව එක් ලක්ෂ හැට දහසකින් පමණ ඉහළ ගොස් තිබේ.