ඉදිරියේදී පැවැත්වෙන ඕනෑ ම මැතිවරණයක් වෙනුවෙන් රුපියල් බිලියන 10ක ප්‍රතිපාදන වෙන්කර තිබෙන අතර එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.


ඔහු මේ බව සඳහන් කළේ, අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.



එහි දී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ,


"මෙවර අයවැය මැතිවරණ අයවැයක් බවට ඇතැම් අය චෝදනා කර තිබෙනවා. නමුත් දැඩි පීඩනයකට ලක්වූ සමාජයක, සියලූ ප්‍රශ්නවලට උත්තර සෙවීමට සිදුව තිබෙනවා. එහිදී ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වූ පිරිස් පිළිබඳ සොයා බැලීම අනිවාර්යයක් වනවා.


එමෙන්ම ඉදිරියට පැමිණිය හැකි ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් අප විසින් රුපියල් බිලියන 10ක් වෙන්කර තිබෙනවා. එය අයවැය යෝජනා තුළ ඉදිරිපත් නොකළ ද ඇස්තමේන්තු සඳහා ඇතුළත් කර තිබෙනවා." යනුවෙන්.



තව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ දෙවන වාරිකය නිදහස් කිරීම සම්බන්ධව සාකච්ඡා කිරීමට එහි විධායක කමිටුව එළඹෙන දෙසැම්බර් 06 වැනි දා රැස්වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.