වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් දිවයින පුරා රෝහල් 100ක් පමණ වැසී යාමට ආසන්න තත්ත්වයේ පවතින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (27) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.


ඒ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ, අමාත්‍යාංශ නිලධාරීන් හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි. මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ වැසී යාමට ආසන්න රෝහල්වලට වෛද්‍යවරුන් යොමු කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහයෝගයද අවශ්‍ය බවයි.



ඒ අනුව 2024 වර්ෂයට අදාළ ස්ථාන මාරුවීම් එම සංගමයේ සාමාජිකයන් ඇතුළුව සෞඛ්‍ය ​සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවකින් සිදුකිරීමට මෙහිදී තීරණය විය.


ග්‍රාමීය ප්‍රදේශයන්හි රෝහල් වැසී යාමට ප්‍රධාන හේතුව වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, සේවය අතහැර යාම් සහ විදේශ ගතවීම් වැනි කරුණු බවද මෙහිදී අනාවරණය විය. වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්, පුහුණුවීම්, සේවා අවශ්‍යතා මත රෝහල් වෙත අනුයුක්ත කිරීම් සම්බන්ධවද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.



මෙම අවස්ථාවට වැඩබලන සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.