නිමාවට පත් වූ ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගනිමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අගයමින් උපහාර පිදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත.


ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාගේ සංකල්පයක් යටතේ සිදු කෙරුණු මෙම උපහාර උලෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11 දෙනෙකු සහ පුහුණුකරුවන් දෙදෙනකු ඇගයීම් ලැබූ බවයි ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.



නිමාවට පත් වූ 2023 ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් ලාභිනිය වූ තරුෂි කරුණාරත්න, රිදී පදක්කම් ලාභිණියක වන නදීෂා දිල්හානි ලේකම්ගේ මෙන්ම එම තරගාවලියේ ලෝකඩ පදක්කම් දිනා දුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ඇගැයීමට ලක් කරමින් මුදල් ත්‍යාග ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පියවර ගෙන තිබෙනවා. ඊට අමතරව රන් පදක්කම් ලාභීනී තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු සහ රිදී පදක්කම් ලාභී නදීෂා දිල්හානිගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්ත යන අය ද මෙහිදී ඇගැයීමට ලක් කිරීම විශේෂත්වයක්.



මෙහිදී තරුෂි කරුණාරත්නට රුපියල් මිලියන 10ක මුදලක් ද ඇය විසින් දිනා ගන්නා ලද අනෙක් ලෝකඩ පදක්කම සඳහා තවත් රුපියල් මිලියනයක් ද ප්‍රධානය කෙරුණා. රිදී පදක්කම් ලාභිණී නදිෂා දිල්හානිට රුපියල් මිලියන 5ක මුදලක් මෙහිදී පිරිනමා තිබෙනවා. ලෝකඩ පදක්කම් ලාභීන් වූ පසිඳු කොඩිකාර, අරුණ දර්ෂණ, කාලිංග කුමාරගේ, පබසර නිකූ, රජිත රාජකරුණා, දිනුක දේශාන්, නදීෂා රාමනායක, සයුරු ලක්ෂිමා සහ ජයේෂි උත්තරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ද මෙහිදී රුපියල් මිලියනය බැගින් ප්‍රදානය සිදුවිය.



පුහුණුකරුවන් වන සුසන්ත ප්‍රනාන්දු මහතාට රුපියල් ලක්ෂ 20ක ත්‍යාගයක්ද ප්‍රදීප් නිහාන්ත රුපියල් ලක්ෂ 10ක මුදලක් ද පිරිනමා තිබෙනවා. මෙම ඇගැයීමට ලක් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනික සමාජ සත්කාරක වගකීම් ඉටු කිරීමේ වැඩසටහනේ කොටසක් ලෙසින් සිදු කළ බවයි ඔවුන් සඳහන් කර සිටියේ.



මේ අතර ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ද ඔවුන් ලද ජයග්‍රහණ වෙනුවෙන් උපහාර පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරි දින කිහිපයේදී සැලසුම් කර ඇත.



අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පැවැති මෙම ඇගැයීම් උපහාර උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට අමතරව, උප සභාපති රවීන් වික්‍රමරත්න, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද, වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත සහ උප භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ ද සහභාගි වී ඇත.



ඊට අමතරව කාන්තා ක්‍රිකට් උපදේශකවරියක මෙන්ම සංවර්ධනය පිළිබඳ උපදේශිකාවක වන ඔලිම්පික් පදක්කම් ලාභීණී සුසන්තිකා ජයසිංහ, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු, ශ්‍රී ලංකා මල ක්‍රීඩා සංගමයේ ලේකම් සමන් කුමාර මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන විධායක කමිටු සාමාජික කිත්සිරි ද සිල්වා ද සහභාගී විය.