අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ අපේක්ෂකයන්ගේ ලකුණු මේ දිනයන්හි පරිගණකගත කරමින් සිටින අතර ලබන මස අග වන විටදී ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණ’ට ඊයේ (17) පැවසීය.

ලකුණු පරිගණකගත කිරීමේ දිනක ධාරිතාව ලක්ෂ දෙකහමාරක් බවත් හැකි ඉක්මනින් දරුවන්ට ප්‍රතිඵල ලබාදීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය රැයක් දවාලක් නැතිව රාජකාරි කටයුතු සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය.

සාමාන්‍ය පෙළ විභාගය 2022 (2023) ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වූයේ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතුවල සිදු වූ ප්‍රමාදය නිසා යැයි ද ඒ මහතා ප්‍රකාශ කළේය.
සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමේ කටයුතු අගෝස්තු 18 වැනිදා ආරම්භ කළ අතර අගෝස්තු මස 27 වැනිදා දක්වා දින දහයක් පුරා පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු සිදුකෙරිණ.
නගර 56ක් තුළ ඇගැයීම් මධ්‍යස්ථාන 100කදී ඇගැයීම් මණ්ඩල 1721ක් යොදාගෙන උත්තර පත්‍ර ඇගැයීම් කටයුතු සිදු කළ අතර මේ සඳහා ගුරුවරු 27,500ක් සහභාගි වූහ.
අපේක්ෂකයන් 472,554කගේ පළමු හා දෙවැනි කොටස් ලෙස පිළිතුරු පත්‍ර මිලියන 5.2ක් මෙවර ඇගැයීමට ලක්කෙරිණ.