13 හැවිරිදි දැරියක් මවගේද කැමැත්ත ඇතිව බලහත්කාරයෙන් අපයෝජනයට ලක් කර ගැබිනියක බවට පත්කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හෙට (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

කුරුණෑගල වැඩබලන මහෙස්ත්‍රාත්වරයා විසින් ඊයේ (01) එම නියෝගය ලබාදුනි.

වරකාපොළ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින ප්‍රසන්න රත්නායක නමැති 32 හැවිරිදි විවාහකයෙකු එසේ රිමාන්ඩ් භාරයට පත්කෙරිණි.

මැල්සිරිපුර, පහමුණ ප්‍රදේශයේ පදිංචිව සිටින එම දැරිය අපයෝජනයට ලක්කර ඇත්තේ බර වාහන රියැදුරෙකු වන ඇයගේ පියාගේ සහායට සිටි පුද්ගලයා විසින් බවටද අනාවරණය වී තිබේ.

පියා සමඟ පවත්වන හිතවත්කම මත නිතරම ඔවුන්ගේ නිවසට පැමිණ ඇති අතර සැකකරු දැරියගේ මව සමග වසර තුනකට ආසන්න කාලයක් අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් ඇත.

දැරියගේ පියා කැලණිය ප්‍රදේශයේ රැකියාව කරන අතර අතරවාරයේදී ඔහු නිවසට පැමිණ නිතරම එම නිවසේ රැඳෙමින් කාලය ගත කර ඇති බවටද අනාවරණය වී තිබේ.

ඒ අතරවාරයේදී මවගේ කැමැත්තද ඇතිව සැකකරු එම නිවසේදී දැරිවියට අවස්ථා ගණනාවකදීම අතවර කර ඇති අතර ඒ හේතුවෙන් ඇය ගැබිනියක බවට පත්ව ඇති බවට මූලික විමර්ශනවලදී හෙළිවී තිබේ.

පසුව දැරිය මේ බව තම පියාට දැන්වීමෙන් අනතුරුව පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකළ මැල්සිරිපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට ඇප දීමේ අරමුණින් දැරියගේ මව අධිකරණය වෙත පැමිණ සිටීමද විශේෂත්වයකි.

අධිකරණ නියෝගයකට අනුව මේ වනවිට මාස පහක ගැබිණියකව සිටින දැරිය ගල්ගමුව ප්‍රදේශයේ ළමා නිවාසයකට පරිවාස දෙපාර්තමේන්තුව මගින් යොමු කර ඇති අතර දැනට එහිදී ඇයට ඇතිවූ යම්කිසි ආබාධයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර සිටී. 

මවගේ අනුදැනුම මත නිවසේදීම මවගේ අනියම් පෙම්වතා අවස්ථා ගණනාවකදීම තමන් අපයෝජනයට ලක් කළ බවද මේ හේතුවෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු පවා අතරමඟදී නැවැත්වීමට සිදුවූ බවද එම දැරිය පොලීසියට පවසා ඇත.

එසේම මේ ආකාරයට කරන ලද අතවර සිදුවීම් තම බාල සොයුරා සහ සොයුරියද දැන සිටි බවද ලැජ්ජාව සහ මවගේ තර්ජන හේතුවෙන් මේ සිදුවීම් කිසිවෙකුටත් පැවසීමට නොහැකිව සිටි බවද ප්‍රකාශ කර ඇති දැරිය මෙම අතවර කිරීම් නවත්වන මෙන් අවස්ථා ගණනාවකදීම මවගෙන් ඉල්ලා සිටියද ඇය තම ඉල්ලීම් ගණනකට නොගෙන ප්‍රතික්ෂේප කළ බවද සඳහන් කර තිබේ.

වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මැල්සිරිපුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි