පාස්කු ඉරුදින ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වලට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතක ඉන්සාෆ් අහමඩ් හා ඉල්ලාම් අහමඩ් ත්‍රස්ත සහෝදරයන්ගේ පියාට පනවා ඇති ඇප කොන්දේසි ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (18) තීරණය කළේය. 


පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල කිරීමට දායකවූ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුගේ පියා වන දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විනිසුරුවරයා එලෙස තීරණය කළේය.


 2019 වසරේ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සහ ඒ හරහා ජාතිවාදී කෝලාහල ඇති විය හැකි බවට තොරතුරු දැන සිටියදී ඒ පිළිබඳව පොලිස් නිලධාරියෙකුට දැනුම් නොදී තොරතුරු වසන් කිරීම ඇතුළු චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත. පොලිස් නිලධාරියෙකුට දැනුම් නොදී සිටීමෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නඟා ඇත.


 මෙලෙස චෝදනා ලැබ සිටින්නේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් හා ඔහුගේ පුතුන් වන මොහොමඩ් හිජාස් අහමඩ් හා මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් නමැත්තන්ය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන වසර 03ක් පමණ රිමාන්ඩ් බාරයේ රඳවාගෙන සිටි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම් හා ඔහුගේ පුත් මොහොමඩ් හිජාස් අහමඩ් නමැත්තන් මීට පෙර අවස්ථාවකදී කොන්දේසි සහිත ඇප මත මුදා හරිනු ලැබුවත් මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් නමැති විත්තිකරු මේ වන විටත් රිමාන්ඩ් බරයේ පසුවේ.


බඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින මොහොමඩ් යුසුප් මොහොමඩ් බ්‍රාහිම්, මොහොමඩ් ඉජාස් අහමඩ්, අධිකරණයේ පෙනී සිටි අතර තෙවැනි විත්තිකාර මොහොමඩ් බ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන මම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රමරත්න මහතා කරුණු දක්වමින් නඩුවේ පළමු විත්තිකාර මොහොමඩ් යුසුප් මොහොමඩ් බ්‍රාහිම් නමැත්තා ඉතා වයෝවෘද්ධ බවත් ඇවිදීමට පවා නොහැකි ඔහු රෝද පුටුවක ආධාරයෙන් මන් බිමන් යන බවත් දැනුම් දුන්නේය. බහුට ඇප නියම කිරීමේදී සෑම මසකට වරක් රහස් පොලීසියේ පෙනී සිටීමේ කොන්දේසියක් නවා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඔහුට පනවා ඇති ඇප කාන්දේසි ලිහිල් කරන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට නවා ඇති ඇප කොන්දේසි ලිහිල් කරමින් මාස 03කට වරක් රහස් පොලීසියේ පෙනී සිටීමට බියම කළ විනිසුරුවරයා නඩුව නොවැම්බර් 20 වැනිදා යළි කැඳවීමට නියම කළේය.