විවිධ රෝගාබාධ හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් එක්ලක්ෂ පනස් දහසකට ආසන්න පිරිසක් මිය යන බවත් මෙසේ රෝගි වන පුද්ගලයන් ජීවත්ව සිටින කාලය තුළදී රැක බලා ගැනීම සඳහා සහන සත්කාර සේවා අවශ්‍ය බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.


ලෝක ගිලාන ගිමන්හල් සහ සහන සත්කාර දිනය ලෝකය පුරා සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දෙවැනි සෙනසුරාදා දින සමරන අතර එම දිනයට සමගාමීව ඊයේ (11) “සහන සත්කාරයට එක්වුණු දයානුකම්පිත ප්‍රජාවන්" යන තේමාව පෙරදැරි කොට ගෙන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදි වෛද්‍යවරු මේ පිළිබඳව අදහස් දැක්වූහ.



පිළිකා ,හෘද රෝග වැනි බෝ නොවන රෝග වාර්තා වීම වැඩිවීම නිසාත්, වයස්ගත ජනගහනය වැඩිවීම නිසාත් මෙම සත්කාර සේවාවන් වර්තමානයේ වඩාත් අවශ්‍ය වී ඇතැයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා මෙම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය .


2016 දී ප්‍රකාශයට පත් කරන ලද ජාතික සෞඛය ප්‍රතිපත්තියේද සහන සත්කාර අවශ්‍ය සියලුම රෝගීන්ට ඒවා ලබාදිය යුතු බව අවධාරණය කරයි.



මෙයට අමතරව සහන සත්කාර ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාතික උපායමාර්ගික ක්‍රියා රාමුව 2019-2023 මගින්ද ශ්‍රී ලංකාවේ සහන සත්කාර සේවාව තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා මග පෙන්වනු ලබයි.


සහන සත්කාර අවශ්‍ය රෝගින් සහ ඔවුන්ව රැකබලා ගන්නන් බොහෝ විට කැමැති වන්නේ එම ප්‍රතිකාර පූර්ණ කාලීන හෝ අර්ධ කාලීන ලෙස පවුලේ වෛද්‍යවරයාගෙන් ලබා ගැනීමටය.



එවැනි අවස්ථාවකදී සහන සත්කාර උපදේශන සේවය විසින් සකසන ලද ප්‍රතිකාර ඉලක්කයන් සහ හවුල් ප්‍රතිකාර පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කිරීම වැදගත්ය.



මේ සඳහා ළඟම ඇති ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ආයතනය සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඇමැතීමෙන් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බව වෛද්‍යවරු දැනුම් දෙති.