අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ සහ සළිඳු මල්ෂක නොහොත් ‘පානදුරේ කුඩු සළිඳු’ යන අයට සුපිරි වෙළෙඳසලකින් ආහාර පාන ලබා ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අවසර ලබා දුන්නේය.

සැකකාර නඳුන් චින්තක සහ සළිඳු මල්ෂක යන අය වෙනුවෙන් මෝෂන් පත්‍රයක් අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් නීතිඥවරුන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

සැකකරු රඳවා සිටින ස්ථානය භාර ස්ථානාධිපතිවරයා නම් කරන නිලධාරියකු මඟින් එම ආහාර පාන ලබා ගැනීමට කටයුතු කරන ලෙසට අධිකරණය නියෝග කළේය.

සේවාදායකයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන ආහාර ප්‍රමාණවත් නොවන බැවින් පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට සැකකරුවන් වෙනුවන් පෙනීසිටි නීතිඥ සංජය ආරියදාස, නීතිඥ ජාලිය සමරසිංහ යන අය අධිකරණය හමුවේ කරන ලද ඉල්ලීම සලකා මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා මැඩගස්කර ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන පෙබරවාරි 15 වැනි දින සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කෙරේ.