වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ගොවි ජනතාව පතරොම් තුවක්කු ඉල්ලා සිටියද සතුන් පළවා හැරීම සදහා වායු රයිෆල් බෙදා දීම ඊයේ දින (22) සිට ආරම්භ කරනු ලැබීය.


ඊයේ දින පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් අගුනකොලපැලැස්සේ දී ගොවීන් සඳහා වායු රයිෆල් බෙදා දීම ආරම්භ කරනු ලැබීය.


ඒ අනුව ඊයේ දිනය තුළ වායු රයිෆල් 268ක් ගොවීන් වෙත බෙදා දෙන ලදි.




මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා වන සතුන්ගෙන් සිදුවන වගා හානි මේ වනවිට ඉහළ ගොස් ඇති අතර වගා හානි වළක්වා ගැනිම සඳහා තමන්ට පතරොම් තුවක්කු ලබා දෙන ලෙසට ගොවීන් නිරන්තරයෙන් ඉල්ලීම් කරන බව ද පැවසීය.



වගා හානි වැඩි වශයෙන්ම සිදු කරන්නේ රිළවුන් විසිනි. මේ නිසා රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වොද්‍යාන වෙත ලබා දීමට අවශ්‍ය මුලික පියවර ගත්තත් පරිසර සංවිධාන විසින් නඩු පැවරීම නිසා එම වැඩ පිළිවෙළ කඩාකප්පල් විය. තවත් රටවල් කිහිපයකින්ම අපේ රටේ රිළවුන්ට ඉල්ලීම් ඉදිරිපත් වුනත් මෙම අධිකරණමය තීන්දුව නිසා එම වැඩ පිළිවෙළ මුළුමනින්ම අකර්මණ්‍ය විය.




කෙසේ වුවද ඉදිරි ආහාර අර්බුදයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇති නිසා වගා කරන බෝග වන සතුන් විනාශ කිරීම බරපතල අර්බුදකාරි තත්ත්වයක් නිර්මාණය කර ඇත. මේ නිසා වායු රයිෆල් පමණක් නොව පතරොම් තුවක්කු ද ගොවීන්ට ලබා දීමට සිදු වනු ඇත.




කෙසේ වුවද මෙම පරිසර සංවිධාන රිළවුන් ඇතුලු වන සතුන්ගෙන් සිදුවන වගා හානි වළක්වා ගැනීම සඳහා ඉදිරිපත් කළ යෝජනා කිසිසේත්ම ප්‍රායෝගික නැත. වගාවන් වටා සාරි එල්ලීම, පොල්ගස්වල තහඩු බැඳීම මෙන්ම වගා කරන ගොවිපොළවලින් අක්කර භාගයක් වන සතුන් සඳහා වෙන් කිරීම කළ යුතු බව මෙම පරිසර සංවිධාන විසින් ඉදිරිපත් කළ යෝජනා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.




එම නිසා වගා හානි වළක්වා ගැනීම සඳහා දරණ උත්සාහයක් වශයෙන් ගොවින්ගේ ඉල්ලීම පරිදි 50% දායකත්වයට යටත්ව වායු රයිෆල් බෙදා දීමට පියවර ගත් බවත්, මේ සඳහා මෙම වර්ෂය තුළ මුල්‍ය ප්‍රතිපාදන රජය විසින් වෙන් කර දී ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.