ශ්‍රී ලංගම බස් අනතුරුවලට ලක්වීම හේතුවෙන් වාර්ෂිකව රුපියල් මිලියන අනූවකට ආසන්න මුදලක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අහිමිවන බව එම මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා පැවසීය.


වාර්ෂිකව ලංගම බස් 1500ක් පමණ විවිධ අනතුරුවලට ලක්වන බවත් ඉන් 60ත් 70ත් අතර ප්‍රමාණයක් මාරක රිය අනතුරු ලෙස වාර්තා වන බවත් හෙතෙම සඳහන් කළේය.




මෙලෙස අනතුරට පත්වන බස් ධාවනයට සුදුසු තත්ත්වයට පත් කිරීමට ගතවන කාලසීමාව වැඩි බැවින් එම කාලයේදී දී අහිමිවන ආදායම ද සැලකිල්ලට ගත්විට වාර්ෂිකව රුපියල් බිලියන ගණනක අලාභයක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දැරීමට සිදුවන බව ඔහු පෙන්වා දුන්නේය.




එලෙස සිදුවන අනතුරු සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා ලංගම රියැදුරන් හට ආරක්ෂාකාරී රිය ධාවනය පිළිබඳ තාක්ෂණික ක්‍රමවේද සහිත පුහුණු පාඨමාලාවක් දැනටමත් ආරම්භකර ඇති බවද එමගින් රියැදුරන් තුන්සියයක් පුහුණුකර ඇති බව ද කී ඒ මහතා බස්නාහිර පළාතේ සිදුවන රිය අනතුරු ප්‍රමාණය සියයට විසිපහකින් පමණ අවම කර ගැනීමට එමගින් හැකිවූ බවද සඳහන් කළේය.