නීති විරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළ බව කියන ඔන්මැක්ස් ඩී. ටී. ආයතනයේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට අයත් සුඛෝපභෝගී නිවාස සහිත රුපියල් ලක්ෂ 888 ක් වටිනා ඉඩම් 08 ක් වහාම තහනම් කරන ලෙස අධිකරණය ඊයේ (26) පස්වරුවේ නියෝග කළේ ය.




මහනුවර සහ කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති එම දේපොළ අන්සතු කිරීම, විකිණීම හා පැවැරීම තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස්, ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත එම නියෝගය නිකුත් කළේ ය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයා විසින් කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව කරන විශේෂ විමර්ශනයේදී කරුණු අනාවරණය වූ ඔන්මැක්ස් ඩී.ටී. (ONMAX DT(PVT) LTD) ආයතනයේ අධයක්ෂවරුන් බව කියල ගලබඩවිධාන ආරච්චිලාගේ සාරංග රන්දික ජයතිස්ස, කහඳව ආරච්චිලාගේ අතුල ඉන්දික සම්පත්, ප්‍රසන්න මධුරංග සමරකෝන් යන තිදෙනාට අයත් දේපොළ පැවරීම තහනම් කරමින් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය මහනුවර සහ කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර්වරුන්ට නිකුත් කළේ ය.




නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනු කළ බවට චෝදනා එල්ල වී තිබෙන ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරුන්ගේ විදෙස් ගමන් මේ වන විට අධිකරණය මගින් තහනම් කර තිබේ.




එම අධ්‍යක්ෂවරුන් සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳ නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියේය.


ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ලේනදූවගේ සම්පත් සඳරුවන්ට අයත්ව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී නිවාස, හෝටල්, ඉඩම් ඇතුළු දේපොළ පැවරීම තහනම් කරමින් ද අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කළේ ය.




එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගිණුම්වල රුපියල් කෝටි 100 කට අධික මුදලක් තිබෙන බව අනාවරණ වී ඇතැයිද දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊට අමතරව ඔවුන් පිරමීඩාකාර ගනුදෙනුවලින් උපයාගත් රුපියල් කෝටි ගණනක මුදලින් සුඛෝපභෝගී නිවාස, සුපිරි හෝටල්, සුඛෝපභෝගී වාහන, ඉඩම් අත්පත් කරගෙන තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.




ඔන්මැක්ස් ඩී.ටී. ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ ලේනදූවගේ සම්පත් සඳරුවන්ට අයත්ව තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා සුඛෝපභෝගී නිවාස, හෝටල්, ඉඩම් ඇතුළු දේපොළ පැවරීම තහනම් කරමින් ද අධිකරණය පසුගියදා නියෝගයක් නිකුත් කළේ ය


.


එම අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ගිණුම්වල රුපියල් කෝටි 100 කට අධික මුදලක් තිබෙන බව අනාවරණ වී ඇතැයිද දන්වා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊට අමතරව ඔවුන් පිරමීඩාකාර ගනුදෙනුවලින් උපයාගත් රුපියල් කෝටි ගණනක මුදලින් සුඛෝපභෝගී නිවාස, සුපිරි හෝටල්, සුඛෝපභෝගී වාහන, ඉඩම් අත්පත් කරගෙන තිබෙන බවට තොරතුරු ලැබී ඇතැයිද අධිකරණයට දන්වා සිටියේය.




එම දේපොළ සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් පරීක්ෂණ පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට දන්වා සිටියේය.