ගංවතුර සහ නායයෑම් සිදු වූ අකුරැස්ස මැතිවරණ බල ප්‍රදේශයේ වෙසෙන, හෙට (15) 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සූදානමින් සිටී.

ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවසන ආකාරයට අකුරැස්ස කොට්ඨාසයේ දරුවන් 934ක්ද, අතුරලිය කොට්ඨාසයේ දරුවන් 570ක්ද, මාලිම්බඩ කොට්ඨාසයේ දරුවන් 87ක්ද මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අතර, ඔවුන්ගෙන් බහුතරය ගංවතුර තත්ත්වයට මුහුණ දී සිටිති. සෑම වසමකම ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන් ඒ දරුවන්ගේ මවුපියන් හමු වී ගංවතුරින් කොටුව සිටින දරුවන්ට ආරක්ෂිතව විභාග මධ්‍යස්ථානවලට ගෙන ඒමට සැලසුම් සකස් කර ඇත.අපහසුම දරුවන් සිටී නම් අද (4) ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නවාතැන් පහසුකම් සලසා ඇතැයි අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ.ජී.ඩී. අනෝජා මහත්මිය දිනමිණට කීවාය. අකුරැස්ස ආපදා සහන සේවා නිලධාරී යූ.ජී. සම්පත් සියලු කටයුතු සම්බන්ධීකරණය කරයි. පහත දුරකතන අංකවලට අමතා අදාළ නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇත: අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් 0719189906, ආපදා සහන සේවා නිලධාරී 0768040055.

දරුවන් ආරක්ෂිතව අදාළ විභාග මධ්‍යස්ථානවලට රැගෙන යෑමට සූදානම් කර ඇති බව අතුරලිය ප්‍රාදේශීය ලේකම් නිරෝෂා ගමගේ මහතා සඳහන් කරයි. සම්බන්ධීකරණ කටයුතු අතුරලිය ආපදා සහන සේවා නිලධාරී තීක්ෂණ වික්‍රමරත්න මහතා සිදු කරයි. අතුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය 0412284458 අමතා තොරතුරු ලබා ගැනීමට හැකිය. මාලිම්බඩ කොට්ඨාසයේ ගංවතුරට කොටුව සිටින සියලු දරුවන් අදාළ විභාග මධ්‍යස්ථානවලට රැගෙන යෑමට සැලසුම් සකස් කොට දරුවන්ගේ මවුපියන් දැනුවත් කිරීමට වසම් භාර ග්‍රාම නිලධාරීන් සහ ආර්ථික සංවර්ධන නිලධාරීන් යොදවා ඇතැයි මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් උමේෂා මාතරගේ මහත්මිය පැවසුවාය. ආපදා සහන සේවා නිලධාරී ලාල් කිතලගම මහතා සම්බන්ධීකරණ කටයුතු සිදු කරයි.

ප්‍රාදේශීය ලේකම් 0713815040, ආපදා සහන සේවා නිලධාරී 0712533974 අංක අමතමින් තොරතුරු දැන ගැනීමට හැකියාව ඇත. යුද හමුදාව හා නාවික හමුදාව බෝට්ටු සහ ට්‍රක් රථ ගංවතුර පවතින ස්ථානවල ස්ථානගත කොට ඇති‍ අතර, එම ස්ථානවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් එදින පෙරවරු 6.00 සිට යොදවා තිබේ.